Friday, August 29, 2014

ඇදුරුතුමනි අප ලොව මිනිසුන් වූයෙත් ඔබ නිසාය





 

සීදූව, අමන්දොළුව මහා විද්‍යාලයය ප්‍රදේශයේ ඉතා කීර්තිමක් විද්‍යාලයයකි.  ඇවරිවත්ත පාරම්පරික වෙද පරපුරක් වන කුමාරසිංහ වෙද පරපුරෙහි ඉතාමත් කීර්තිධර වෛද්‍ය උත්මයෙකු වන රන්සිරි කුමාරසිංහ මැතිතුමන් විසින් ප්‍රදේශයේ දරු දැරියන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් තිළිණ කළ මෙම විද්‍යාලයය එදත් අදත් ඉතාමත් ආදර්ශමත් විද්‍යාලයක් ලෙස හඳුන්වාදිය හැකියි.  එකළ පූර්ව ජ්‍යෙෂ්ඨ පන්තිය ලෙස හඳුන්වන ලද නව වන පන්තියේ සිට අ.පො.ස. (උසස්) පෙළ දක්වාම මෙම ගෞරවණීය පාසැල් මාතාවගෙන් අධ්‍යාපනය ලබන්නට මාද පින්කර තිබූ බව සඳහන් කරනුයේ ඉතාමත් භක්තියෙන් හා ආදරයෙනි.



වසර හතළිස් හතරක් තරම් දිගු කාලයකට පසු නැවතත් අමන්දොළුව මහ විදුහල් මෑණියන් ගේ මව් සුවඳ විඳ ගන්නට අගෝස්තු මස 02 වන දින ආදි සිසු පරපුරට වාසනාව උදාවුනා.  ඒ විදුහලෙහි විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයත්, වත්මන් සිසු කැලත්, ආදි ශිෂ්‍ය සංගමයත් එක්වී පවත්වන්නට යෙදුනු ගුරු උපහාර උළෙල නිසා.



විදුහලෙහි සේවය කොට විශ්‍රාම ගොස් තිබූ ගුරු මව් පියවරුද, විදුහලෙහි සේවය කොට මාරුවීම් ලැබ වෙනත් පාසැල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත ගුරු මව්පියන්ද ඇතුළු සියයක් පමණවූ ගුරු පරපුරක් වෙත බැතිඋපහාර පුද කළේ කළගුණ සැළකීම යන උතුම් ගුණාංගය සිහි ගන්වමින් හා වත්මන් පරපුරට ආදර්ශයක් ද ලබාදෙමින්.



උපහාර උළෙලට පැමිණි ආරාධිත ගුරු භවතුන් හෘදයංගමව පිළිගෙන පළමුව ඔවුන් වෙත තේපැන් සංග්‍රහයක් පවත්වා ඉන්පසු ඔවුන් මඟුල්බෙර හඬ මැද, දර්ශණීය නැටුම් සහිත පෙරහැරකින්, රතු පලස මතින් උත්සව ශාලාව වෙත කැඳවා ගෙන ගියේ ආදි සිසු සිසුවියන් විසින් තම භක්ත්‍යාදරය පිළිගන්වමින්.  මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මැද ආරම්භ වූ උත්සවය කතෝලික පියතුමන්ගේ දේශණාවන්ගෙන් ද ආශිර්වාද ලැබුවා.



කටුනායක බෝධිරතනාරාමයේ අධිපති, අමන්දොළුව මහ විදුහලෙහි ආදි ශිෂ්‍ය, පූජ්‍ය පාද අමන්දොළුවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් මෙම විදුහලෙහි අගය පහදා දෙමින් කළ මාහැඟි දේශණය සියළු දෙනාගේ හදවත් ගුරුබැතියෙන් පුබුදුවාලීමට සමත්උනා.  ගිහි පැවිදි හරවත් දෙසුම් රැසකට සවන් යොමු කරන්නට බොහෝ කලකට පසු එදින අපට අවස්ථාව ලැබුණා.  මේ අතර ගුරු බැති උපහාර තිළිණ පිරිනැමීමද සිදු කළ අතර එදා යෝධ ශක්තියෙන් මෙම වේදිකාව මත හැසිරුණු ගුරු පියවරු අද වියපත්ව සැරයටි අතැතිව ආදි සිසුන්ගේ වාරුවෙන් වේදිකාවට ආ හැටි ඉතාමත් සංවේදී දර්ශණයක් වුනා.



දෙසුම් අතර තුර පාසැල් නැටුම් කණ්ඩායම් ඉදිරිපත් කළ දර්ශණීය රංගන හා සංගීතාචාර්යතුමිය ඉදිරිපත් කළ කර්ණ රසායන ගායනා සියල්ලන් සැනසුමට පත් කළා.



උපහාර පිදීමෙන් පසු ආරාධිත ගුරු භවතුන් වෙත, ආදි සිසු සිසුවියන් වෙත හා උත්සවයට පැමිණි සියළු දෙනා වෙත ප්‍රණීත දිවා ආහාර සංග්‍රහයක් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබුණා.  ඇත්තෙන්ම සියළු දෙයින් සම්පූර්ණ වූ මනස්කාන්ත උළෙලක් අපට එදා දැකගන්නට විඳගන්නට අවස්ථාව සැළසුණා.



ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවා මාස හතරක් වැනි සුළු කාලයක් තුල සංගමයේ ප්‍රථම යෝජනාව වූ ගුරු උපහාර උළෙල මනා සංවිධානයකින් පැවැත්වීමට වත්මන් විදුහල්පති, සරත් කුමාරතුංග මැති තුමන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණේ විශාල කැප කිරීමකින්.  වත්මන් සිසු පරපුර මෙම උත්සවය සාර්තක කර ගැනීමට ප්‍රශංසනීය දායකත්වයක් ලබා දුන් බවද පෙනී ගියා.  ආදි සිසු සංගමයේ උත්සව සංවිධානය කමිටුවද තම ශ්‍රමය, ධනය හා කාලය කැප කරමින් ඉතාමත් විශිෂ්ඨ සේවයක් උපරිමයෙන්ම සිදු කර තිබුණා.  එමෙන්ම විදුහලේ ආදි සිසුන් වු ප්‍රදේශයේ ගෞරවාන්විත තනතුරු හොබවන සහෝදර පිරිසක් මෙම උත්සවය සඳහා තම අනුග්‍රහය භක්ති පූර්වකව ලබාදී තිබුණා.



මෙම සියළු දෙනා වෙනුවෙන් ස්තුතිය පුද කිරීම අපගේ යුතුකමක් යයි හැඟුනා.  එදින රාත්‍රියේ මෙම පින්බර උළෙල නැවත නැවතත් සිහිපත් කරද්දී සටහන් වූ මෙම පැදි කිහිපය ඉහත සඳහන් කළ සියළු දෙනාටත්, ආදරණීය ගුරු මව් පිය සියළු දෙනාටත්, උත්සවයට සපැමිණි සහෝදර ආදී සිසු සිසුවියන්ටත්, මගේ ආදරණීය විදුහල් මාතාවටත් උපහාරයක්ම වේවා.




අමන්දොළුව මහ විදුහල් අම්මා බැතියෙන් නමදිමි
ඒ පින්බිම පින්බර බව පසුගිය ශනිදා දුටුවෙමි
ගුරු බැතියෙන් පිරුණු හදින් ඇදුරු දෙපා යුග වැන්දෙමි
ඔබ සැම වෙත තුති නොපිදුවහොත් වරදක් යැයි සිතුවෙමි


ආදි සිසුන් එකමුතු කොට ගෙවුනේ මාසද හතරකි
ගුරු බැති උපහාර උළෙල එහි කුළුඳුල් සිතුවිල්ලකි
ඒ සිතුවිලි ඔප් නැංවී මැවුනේ පින්බර උළෙලකි
එය මෙහෙයූ විදුහල්පතිතුමා සැබෑ නායකයෙකි


ගුරු සවියයි සිසු බැතියයි ආදි සිසුන්ගේ බලයයි
එකමුතුවී කළ පින්කම පෙර ගුරු දෙවිඳුන් සනසයි
මෙවන් දූ පුතුන් ලද මගෙ විදුහල් මව පින්වන්තයි
විදුහල් ඉතිහාස පොතේ මෙය රන් අකුරින් ලියැවෙයි


පැවිදි දේශනාවන්ගෙන් මහා සභා ගැබ පිබිදුනි
ගුරු භවතුන් හා මැතිඳුන්ගේ දෙසුමන්ගෙන් සැනසුනි
විදුහල් සිසු කැලගේ රංගනයෙන් සැම කුල්මත් වුනි
පැය හතරක් ගතව ගියාදැයි කිසිවෙකුටත් නොදැනුනි


ගීත ගයනවාය කියා බෙරිහන්දී හඬා වැටෙන
යුගයක කන් කරච්චලෙන් සවන් අගුල් වැටී තිබින
ගීතය ගීතයක් ලෙසින් දෙසවන් සනසවා ගයන
ඇදුරුතුමියට ද වෙසෙසින් තුති පුද කළ බව කියන්න


මඟුල් බෙර හඬින් නැටුමෙන් සැදුනු පෙරහැරෙන් බැතියෙන්
ආදි ඇදුරු කැල පෙරටුව ගෙන ගොස් රතු පලස මතින්
ගුරු බැති උපහාර පුදා සැනසුව පසු සංග්‍රහයෙන්
සැම දෙන හද සැනසුන බව දැනුනා මුව හසරැල්ලෙන්


සමුගන්නට සුදානම් වී ඇත ගුරු මව් පියවරු
දැකගන්නට ලැබුනා යළි බැතින් දෙපා වඳින අයුරු
අප දරුවන් ලෙස සිටි කල අපට ශිල්ප දුන්නු අයුරු
සිහිවී හද සසල වෙමින් නෙතින් ගලති කඳුළු සයුරු


කුරුල්ලන්ට ගහ කොළ හා සියළු සතුන් වෙත නිරතුරු
ආදරය පුදන්නට නිති සැමට කියා දුන් ගුරුවරු
ජීවිතය කුමක්ද කියා අපට ඉගැන්වූ දෙවිවරු
සැරයටියේ පිහිට සොයනු දැක නෙතුයුග තෙමෙන අයුරු


හාත්පස පුරා බැලුවෙමි අප ලද මඳ විරාමයෙන්
එදා තිබූ අඹගස් කජුගස් නැති බව දැනුන හෙයින්
වෙන්වී සිව් සතළස් වසරකි එනමුදු හැඳිනගමින්
පෙර තිබු සුදු අරලිය ගස් ඇත මා හා හිනාවෙමින්


පාසැල් බිම සුදු අරලිය මල් පිපුනෙත් ඔබ නිසාය
ඒ මල් කෙමි තුල සුවඳැති රොන් පිරුනෙත් ඔබ නිසාය
ලොව දස දෙස ඒ සුවඳින් සුවඳ උනෙත් ඔබ නිසාය
ඇදුරුතුමනි අප ලොව මිනිසුන් වූයෙත් ඔබ නිසාය




4 comments:

  1. ප්‍රේමරත්න පලිහවඩන කවියාණෙනි

    ඔබට සදා සුවය පතමි!

    ආයුබෝවන්!

    ReplyDelete
  2. සුබ ගමන් පියාණනි !!!

    ReplyDelete
  3. නිවන් සුව පතනවා... සුබ ගමන් පියාණනි !!!

    ReplyDelete