Friday, July 12, 2013

දියකාවා



දෑස පෙනෙන තෙක්මානයට විහිදුනු අහස වඩාත් විසිතුරු වන්නේ විවිධ වර්ණ සැඳෑ වළාවන් රටා මවන විටදීය. සැඳෑව තවත් සුන්දර කරන්නටදෝ සේරු රෑන් එකම ලතාවකට අත්තටු සලමින් එකම පේළියකට ඉගිල යති. ඇතැම් විට තනිවූ දියකාවෙක් ඉතාම ඉහළ අහසේ ඕනෑවට එපාවට මෙන් පියා සලමින් දඬුගං ඔය දෙසට ඇදෙයි.

දැනට වසර ගණනාවකට පෙර දිනක මා විහාරමහාදේවි උයන් කොණක බංකුවක තනිවී හිඳින විටද මෙබඳුම දියකාවෙකු ඕනෑවට එපාවට අහස සිසාරා ඉගිල යද්දී මා ඌ ගීතයක පද පේලි අතරේ සිර කරගන්නට මෙසේ උත්සාහ ගතිමි.


ඉමක් කොනක් නැති විසල් අහස් කුස
නිමක් නොමැති ගමනක නුඹ යනවා
නුඹේ පියාපත් සැලෙන ලතාවට
මහද සැලී දෙනුවන් පියවෙනවා

මගක් තොටක් නොදැනම නුඹ යනවද
සුළං හමා නුඹෙ මග අවුරනවද
තටු නොසලන්නේ වෙහෙස දැනෙනවද
තව කොපමණ දුර තනිවම යනවද

නිල්වන් අහසේ නුඹත් තනිවමයි
විසල් පොළොව මැද මමත් තනිවමයි
ගිමන් නිවන දිය කඳුර කොතැනදැයි
දකින තුරා අප දෙදෙන තනිවමයි


එදා සිට අද දක්වාත් අනවසරයෙන් අනාරාධනයෙන් කොහේදෝ සිට පැමිනි මේ දියකාවා හද හඬවා නික්ම යයි.




2 comments:

  1. ලස්සනයි.

    මේකත් ගී තනුවක් කරන්න පුලුවන්නේද?

    මට මොකක්දෝ හේතුවක් නිසා Blowing in the wind- Bob Dylan මතක් වුනා.

    How many miles must a man walk down
    before you call him a man
    How many ...



    Blowing in the wind lyrics ගූගල් කරලා බලන්න

    ReplyDelete
  2. බස්සිටත් ඩැඩාගේ ගීතය කියවනකොට හිතට ආවෙ Blowing in the wind පදවැලම තමයි. මට හිතෙන්නෙ ගීත දෙකේ අදහස් සමාන නැතත් ගීත දෙකෙන්ම හිතට දැනෙන සැහැල්ලුව එකම විදියයි.

    ReplyDelete