සිංහල ගීත සාහිත්‍ය යේ
ළමා ගීත උපත ලබන්නේ කලාතුරකිනි. ඉනුදු හොඳ මිහිරි ළමා ගීතයක්
උපදින්නේ ඉතාමත් කලාතුරකිනි. එබඳු සුමිහිරි ළමා ගීත
රැසක් පිරුණු මල් වට්ටියක් බඳු කැසට් පටයක් වසර
ගණනාවකට පෙර විශාරද නන්දා මාලිනී මාතාව සිරිලක දරු පරපුරට බැතිබරව පූජා කළාය. ටිබැට් ජාතික පූජ්‍ය ඇස් මහින්ද හිමි,
ආනන්ද රාජකරුණා, මුනිදාස කුමාරතුංග වැනි වන්දනීය කිවිඳුන් අතින් රචනා වූ එම ළමා ගීත සදා නොමියෙන නිර්මාණයන්ය. “ ලක්වැසියන් කෙරෙහි නැමී”, “රෝසමලේ නටුවෙ කටූ”, “හා හා හරි හාවා”, වැනි ගී ළමුන්සේම
වැඩිහිටියන් ද රස වින්දේ දැඩි ආශාවෙනි. “ආදරේ ඇයි පොඩි හඳ මාමේ”, “මල් කියන්නේ කාට කාට”, “මිදුලේ වැලි මාලිගාවෙ”, “කුරුම්බැටි මැසිමේ”, “අපේ අම්මා කොළඹ ගිහිල්ලා”, “මගේ පිඟානේ ඉන්නා මාළු කූරියෝ”, “සකල බුජං”, “ලස්සන මගෙ මේ ඇඳුම් කට්ටලේ” මෙම ගීත කලකට පෙර අප බොහෝ සේ රස විඳි මතුවට ද රස විඳිය හැකි ළමා ගීතයන්ය.
මේ අතර ප්‍රේමකීර්ති ද
අල්විස් නම් වූ අද්විතීය ගේය පද රචකයන් අතින් නිර්මාණය වූ “ගමන බිමන හරි කඩිසර”, “හිටියා උදාර කොල්ලෙක්”, “අමුතු ඇඳුම් ඇඳ”, “මිණි ගෙජ්ජි හඬන”, වැනි ගීත උපහාස රසය හා ළමා රුචිය ද කැටි කොට ගත් සුවිශේෂී නිර්මාණයන්ය.
වර්තමානයේ බොහෝ මාධ්‍ය
තුළින් වමාරන අදෝනා තිරිවානා අතර මේවා රතුකැට - නිල් කැට බඳු අගනා මැණික්ය. ඒවායෙහි අගය සදාකාලිකය.
මෑත කාලයේදී එක්තරා
ප්‍රසිද්ධ ගුවන් විදුලි නිවේදක මහතෙකු ඇගේ දියණිය සංයුක්ත තැටියක් නිකුත්
කරණ බැවින් ඒ සඳහා ගීත දෙකක් නිර්මාණය
කර දෙන මෙන් ඉල්ලා සිටින ලදී. දිනක්
හැන්දෑවේ මිදුලට වී ළමා ගීතයකට විෂය කරගත යුත්තේ කුමක්දැයි සිතන විට රූපවාහිනී
නාලිකාවක රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රචාරය වෙමින් තිබුණි. එහි පැවසූනේ විරුද්ධ පක්ෂයක සිටි ප්‍රබල
දේශපාලකයන් කිහිප දෙනෙක් ආණ්ඩු පක්ෂයට කරණම් ගැසූ පුවතකි. මම සේපාලිකා ගස දෙස බැලුවෙමි. අතු කෙළවර කුඩා පාද සතරෙන්ම බදා ගෙන නිදා සිටි
කටුස්සා මම දුටිමි. හිතවත් නිවේදක මහතාගේ
ඉල්ලීම ඉටු කර දීමට “කටුස්සා” තෝරා ගතිමි.
කටුස්සා
බුලත් පන්දලම අස්සේ
මෑ වැල් දළු අග්ගිස්සේ
මකුළු - දළඹු -
කුරුමිණියන් සොයන කටුස්සා
මහදැන මුත්තකු ලෙස
බැලුවා හිස ගස්සා
උගෙ හිස ඌ ගස්සන්නේ
කොල්ලන් හංගන් කියලයි
ඒ හින්දා කටුසු
රාළ
දැක්කම මට හරි තරහයි
කොල්ලන් හංගන්නේ කොහොමද
අයියේ පුංචි සතා
සතුන්ට හිංසා කරන්න හේතු
හදා ගන්න එපා
වෙලාවකට එක පාටක්
තව ටිකකින් තව පාටක්
පාට වෙනස් කර ගන්නා
හරිම දෙපිට කාට්ටුවෙක්
එයාගෙ වර්ණක වල හැටි
නිකං බනින්නේ මොකටද
පාට වෙනස් කර ගන්නේ
කටුසු රාළලා විතරද
එක ගීතයක් ලියූ පසු
ඇති වූ සැනසිලි සුවයෙන් හුස්මක් හෙළා අහස දෙස බැලුවෙමි. එක ගසකින් තවත් පල ඇති රුකකට මාරුවන වවුළන්
කිහිප දෙනෙකු දුටිමි. හිතවතාගේ දෙවන
ඉල්ලීම ඉටු කර දීමට “වවුළා” තෝරා ගතිමි.
වවුළා
හිරැ පායන විටදි නිදී
අඳුරු වැටෙන විට අවදී
එල්ලී අත්තට පයදී
පැටවුන් හැදුවා කිරිදී
ලොකු අයියා මා වවුලා
මද්දුමයා තල වවුලා
පොඩි මල්ලී, කිරි වවුලා
රෑට බයේ නෑ වෙවුලා
යාළුවන් බලන්න ගිහින්
රෑ වුනාම එන්නෙ හොරෙන්
අම්මා බැන්නා අයියට
වවුල වගෙයි කියලා
තමන්ගෙ පිල පරදින කොට
පනින එවුන් වාසි අතට
අයියා කිව්වා ඔවුන්ට
වවුල වගෙයි කියලා
ටික දිනකට පසු
හිතවතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. “ගීත දෙකනම් හොඳයි. ඒත් මේ කටුස්සොයි වවුලොයි තරහ වුනොත් මගේ ජොබ්
එකටත් කෙළවෙයි”.
එදා සිට අද දක්වාත්
කටුස්සාත් - වවුලාත් තමන්ටත් වඩා තම න්‍යායයන් අනුගමනය කරණ වත්මන් දේශපාලු සගයන්
දෙස දෙනෙත් අයාගෙන, තමන්ට පනකෙන්ද ලැබෙන තුරුත්, නිවේදකයාට නොක්ද පන ලැබෙන තුරුත්
මගේ ගීත රචනා ගොනුවට වී ඉවසිල්ලෙන් බලා සිටිති.