කැදැල්ල තුල
හුරුපුරුදු වූ උණුසුම, සෙනෙහස, සුවඳ හැරදමා අපට යම් කාලයන්හිදී පිටවී ඉන්නට
සිදුවේ. ඒ සමහර විට දිනක දෙකක කෙටි කාලයකට විය හැකිය. සමහර විට මාස ගණනක් හෝ වසර
ගණනක් දිග කාලයකට විය හැකිය. කෙසේ වෙතත්
සුපුරුදු කැදැල්ලෙන් මිදී ගතකරන ප්‍රථම රාත්‍රිය හද රිදවන රාත්‍රියකි. සමහර විට
එය අමතක නොවෙන රාත්‍රියකි.
මට එම අමතක
නොවෙන රාත්‍රිය ගත කරන්නට සිදු වූයේ මා සේවය කල ආයතනයේ නේවාසිකාගාරයේය. දුරබැහැර
වුවද, ගමන දුෂ්කර වුවද මා
කාලයක් ගතවන තුරු සේවයට ගියේ නිවසේ සිටය. එහෙත් වැඩිදුර ඉගෙන ගැනීමට තීරණය කලපසු
ආයතනයේ නේවාසිකාගාරයේම නතර වන්නටද තීරණය
කලෙමි.
විසිදෙනෙකුට
පමණ නතර වන්නට තරම් ඉඩකඩ සහිත කාමර ඇති දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි එවකට නැවතී
සිටියේ හතර පස් දෙනෙකු පමනකි. රාත්‍රිය උදාවන්නට උදාවන්නට පාළුව හා තනිකමද දෙගුණ
තෙගුණ විය. ඒ මදිවාට හතර අතින්ම කළුවර වී විදුලි අකුණු සේනා සමග අනෝරා වැසි
ඇදහැලෙන්නට විය.
මා උඩුමහලේ
පාළු කාමරයේ ජනෙල් කව්ළුවකින් අඳුරු අහස දෙසත්, රුදුරු වැස්ස
දෙසත් බලා සිටියෙමි. මා සිරුරෙන් එතන සිටියත් සිත කැදැල්ල සොයා පාවී යද්දී සුදු
කොලයක කළු අකුරින් මේ පද පේලි සටහන් විය.
සිදාදියේ
මන්දිරයක - උඩුමහලේ එක් කුටියක
නන්නාඳුනනා
විලසින් මා තනිවී අම්මේ
සිත ඈතට
පාවීලා ගම්මානෙට පියාසලයි
පාළු අහස
අතරින් සෙනෙහස සොයාන අම්මේ
නිවී යන්න
පෙරුම් පුරන - කුප්පි ලාම්පුවෙ එලියෙන්
තුන්හිරියා
පැදුර වියන - අම්මේ නුඹෙ ළඟට වෙලා
මද්දු මල්ලි
නිදි කිරමින් ඉන්නවාද අම්මේ
ඉපල් වහලයෙන්
හිරිකඩ වැටෙනවාද අම්මේ
විදුලි අකුණු
පිරිවර හා - වැහි සේනා ඇදහැලෙනා
හැන්දෑවේ
කවුළුව ළඟ මා තනිවී අම්මේ
නංගියි
මල්ලියි සමගින් - වැස්සට නොතෙමී හිඳින්න
පෙරුම් පුරන
ඔබගේ රුව සිතින් දකිමි අම්මේ
එදා ඒ සෙනෙහස
නොමැතිව එක් දිනක් හෝ ගෙවන්නට නොහැකි වූ මට සදහටම මව් සෙනෙහස අහිමි වී වසර හතක්
ගතවූවද අම්මාගේ සුවඳ තවමත් මිදුලේ සේපාලිකා මල්, හෙන්දිරික්කා
මල්වල හා මුළු මිදුල පුරාද රැඳී ඇත.
ම්ම්ම්... මට මවු සෙනෙහස අහිමි වෙලා අවුරුදු දෙකයි නමුත් පිය සෙනෙහස අහිමි වුනේ 1995දි.
ReplyDelete