හිමිදිරිය, උදය, දහවල, සවස, සැන්දෑව ගෙවී රාත්‍රිය උදාවෙයි. එලෙසින්ම ළදරු විය, ළමා විය, නව යොවුන්
විය, තරුණ විය, මැදිවිය ගෙවී මහළු විය උදාවෙයි. හිමිදිරිය හා රාත්‍රිය අතර ලොව මොන තරම් දේ
සිදුවෙනවාද? එලෙසින්ම ළදරු විය හා මහළු
විය අතර කාලය තුළ ජීවිතය මොනතරම් හැල හැප්පීම්, දුක් දොමනස්සයන්ට
මුහුණ දෙනවාද?
දිවා කල ගෙවී ගොස් රාත්‍රියට පියමං වෙද්දී සේපාලිකා
ගහ යට බංකුවට වී අතීතය සිහිපත් කරණ විට සතුට සොම්නසට වඩා
දුක්ඛ දොමනස්සයන්ගෙන් සිත් පිරී යයි.
ජීවිතය ජීවත් කරවන්නට මිනිසුන් මොන තරම් නම් දේවල් වල යෙදෙනවාද? සමහරු අනන්තයක් නොපෙනෙන මහ සමුදුරෙහි රුදුරු
දළ රළ සමග පොර බදති. සමහරු
දහවලෙහි ගිනිගත් පොළොව මත පාර හදති. තාර
දමති. නැත්නම් විශාල කම්හල්
තුළ යන්ත්‍ර සූත්‍ර සමග ගැටෙති.
ඇතැම්හු හොරකම් කරති. සමහරු ආහාර
ද්‍රව්‍ය විකුණති. සමහරු වාහන
විකුණති. සමහරු රෙදි පිළි විකුණති. මේ අතර සමහරු තම සිරුර ද විකුණති.
අබිසරු ළඳුන්, නගර ශෝභිණියන් ගැන
විවිධ පොත් පත් වල තොරතුරු කියවා තිබුණද ඔවුන් ජීවමානව දැක ගන්නට ලැබුනේ එක් දහස්
වනසිය හැත්තෑ තුන වසරේ මුල් භාගයේදී ය.
එකල අපගේ රාජකාරී නිම කොට කැඳළි කරා දිව යන්නට බසයෙන්
මීගමුවට පැමිණ ඉන් පසු නිවසට යාමට මීගමුවේ සිට තවත් බසයක් ගත යුතු වේ.
එකල ද විශාල ලෙස සෙනග රැදෙන මීගමුව බස් නැවතුම් පොලෙහි එක්තරා කාන්තා කණ්ඩායමක් හැන්දෑවට ගැවසෙති. රතු හෝ කළු කොට ගවුම් ඇඳ, තොල් රතු කර, වත්සුනු තවරා සිටින ඔවුන් වෙතින් වහනය වන්නේ බාල සෙන්ට් වර්ගයන්ගේ සුවඳකි. බොහෝ විට මැදිවිය ගෙවන මිනිසුන් සමග හැංගි හැංගී කතා
කරණ, ඉන් පසු ඔවුන් සමග බස් රියෙන් හෝ පයින්ම හෝ කොහේදෝ සැඟවෙන්නට යන මොවුන් කවුදැයි මා ව්මසන ලද්දේ අප ආයතනයේම සේවය කළ අපගේ ගමට නුදුරු ගමක වාසය කළ මා සමගම එකට යන එන බොහෝ ඇසු පිරූ තැන් සපිරූ මිතුරෙකුගෙනි. ඔහු එදා ඔවුන් හඳුන්වනු ලැබූයේ “ගොන්නු” ලෙසිනි. ඔවුන්ට ඒ නම පටබැඳුනේ ජීවිතය ගෙන යන්නට මහා බරක් අදින නිසා ද, නැත්නම් එක එක දිනට එක එකා දක්කාගෙන යන නිසාදැයි මට සිතා ගත නොහැකි විය.
කෙසේ වෙතත් මොවුන් පිළිබඳ තරහවක්, ද්වේශයක්, පිළිකුලක් නොව අනුකම්පාවක් හා දුකක් ඒ මොහොතේ සිතෙහි ජනිත වූවා යයි සිතමි. එදින රාත්‍රියේ එම හැඟීම් සමුදාය සුදු කොළයක කළු අකුරින් මෙසේ සනිටුහන් විය.
හිරු අවරින් බැස යන තුරු
අඳුරින් ලොව නැහැවෙන තුරු
බලාපොරොත්තුවේ නුවන් -
උණු කඳුළින් පිරවෙන තුරු
හිස් බැල්මෙන් බලා සිටින
අබිසරු ළඳුනේ - අබිසරු ළඳුනේ
තඹරු පෙතිසෙ දිලෙන නුවන්
සුරා පැණින් - පෙඟුණු ලවන්
බමන ගතින් මත් සළෙළුන්
පහස සොයා පැමිණෙන තුරු
සසර සයුරු තරඟ මැදින්
පාවෙන ජීවිත නෞකා
පාවෙන ජීවිත නෞකා
ඈත දිලෙන නිල්ල වෙතට
හබල් ගසා පැද යන තුරු
හිස් බැල්මෙන් බලා සිටින
අබිසරු ළඳුනේ - අබිසරු ළඳුනේ
කැකුළු දෙපා පොඩි නළියන
සොඳුරු පැලක ඇති අසිරිය
එවන් සිනහ ගඟුලැල්ලක
ඇයි නොකිදෙන්නේ
හිස් බැල්මෙන් බලා සිටින
අබිසරු ළඳුනේ
නවෝදයක උදාව ගැන ඇයි
නොසිතන්නේ
අබ්සරු ළඳුන් ගැන එදා ලියැවුනු
මෙම ගීතය තම සරල ගී වැඩ සටහනක් සඳහා ගායනා කරණ ලද්දේ
ප්‍රවීණ ගායක හෙන්රි කල්දේරා මහතා විසිනි.
ඔහු මේ සඳහා සුදුසු තණුවක් යොදා
ගත්තත්, ගීතය පටිගත කිරීමේදී ප්‍රමාණවත් තරම් සංගීත ශිල්පීන් පිරිසක් ඒකරාශී කර
ගැන්මට දෙනෙත් නොපෙනෙන ඔහුට නොහැකි වූ බවත්, සරල ගී වැඩ සටහන නිෂ්පාදනය
කළ තැනැත්තිය ගේ අකාරුණිකත්වය නිසා ආබාධිත
ඔහුට කිසිදු සහයෝගයක් නොමැති වූ බවත්, එනිසාම ගීතය සාර්ථක ලෙස නිම කර ගැනීමට
නොහැකි වූ බවත් හෙන්රි කල්දේරා මහතා පැවසුවේ ගීත සංකල්පනාවට සිදු
වූ අසාධාරණයට සමාවක් යදින ලෙසිනි.
මාද ජීවිත කාලයටම මෙම ගීතය ගුවන් විදුලියෙන් අසන ලද්දේ
දෙවතාවක් පමණකි. සමහර තැන්වල කිසිදු සංගීත
හඬක් පවා නොමැතිව ගැයුනු
ගීතය අකාලයේ මිය යාම ගැන දුකක් ද ඇති නොවුනා නොවේ.
එදා දුටු අබිසරු ලියන් අතර සිටි එක් තැනැත්තියක් බොහෝ
වියපත්ව ඉතාමත් කෘෂ වී ගිය සිරුර පුරා සැදුනු තුවාල ද සහිතව ඇගේ දරුවෙකු යයි සිතිය
හැකි නෙත් නොපෙනෙන ආබාධිත තත්ත්වයෙන් යුත් තරුණයෙකු ද පෙරටු කොට ගෙන බස් නැවතුමෙහි
සිඟමන් යදිනු මීට ටික දිනකට
ඉහත දී දැකගත හැකි විය.
දැන් එම කාන්තාවද දක්නට නොමැත්තේ ඇයද මිය ගොසින් විය
යුතුය. එදා මෙම කාන්තාවන් ගොන්නු ලෙසින්
හැඳින් වූ මගේ මිත්‍රයා ද
මියගොස් දැන් වසර පහක් පමණ වේ. ගීතය
ගැයූ හෙන්රි කල්දේරා මහතා ද මියගොස් ය.
ගීතය ද අකලට මිය ගියේය. ගීත
සංකල්පනාව මා සමග තවමත් ජීවත් වේ. එහෙත්
ලොවෙහි කිසිදු දෙයක් සදාතනික නොවන නිසා මාත් සමග ගී සංකල්පනාව ද දිනෙක මිය යනු ඇත.